Monday, 11 April 2016

සම්මතයේ අසම්මතය



කොකේසියානු බිරිඳ තුරුළු කරගත්
මහ කළු සිංහලයා දැක
හිරු නොබසින අධිරාජ්‍යය පරාජය කළ​
වීරයෙකුය යන අභිමානයෙන්
මඟ දෙපස රැඳුන පුරවැසියෝ බලා සිටියහ​.

තළෙලු තරුණියකවූ කුවේණිගෙ දියණිය​
කොකේසියානු සැමියා හා සමගාමීව
මහ මඟ ගමන් කරන විට​
රාවණාගේ අවජාත පුත්තු
අසැබි වදන් කැට මුඟුරින් දමා ගැසූහ​.
රිදුනු සිත ලේ කඳුලක්ව ගලනතුරු හැඬුවාය​ ඈ
ගැහැණියක වූ පවට​

වියතක් තරම් පටු ඇඳුම් කඩකින්
විළි වසාගත් ඒරොප්පෙ ගැහැණුන්
දළදා පුදබිම අසල වීදි සරද්දී,
කානිවල් එකේ අඩ නිරුවතින් රඟද්දී
සඟ රජවරුත් රැක්කෝය මුනිවත ​

ඩෙනිම් දිග කලිසමක් 
ඇඟට හිරට ඇඳ මහ මඟ යන යුවතියන්
පරගැති සිරිතට හුරු වෙතැයි විස්සෝප වූහ වියත්තු
කම්පා වූහ දිසාපාමොක්වරු ​.
අන්තර්ජාල සයනයේ නිරුවතින් හිඳින​
තම දියණිය  නිදහස් මතධාරී මොඩලකැයි ​උදන් ඇනූහ. 
සයිබර් අවකාසයේ රැජිණයැයි ​තලුමැරූහ මා-පියෝ

කුසපොත්ත තෙමෙන්නට ඉඳුලක් නැතිවද​
ළපටී කිරි දරුපැටවුන්ට
දෙතොල තෙමා ගන්නට කිරි කඳුලක් නැතිව​
සාගිනි මැළය දැල්වුණත්
ලිප ගිනි නොමැළවෙන පැල්පතේ
රජවරුන් අභිශේක කරන්නට​
කිරිකළ දහසකින් බෝ රජු දොවන්නට 
වලිකන ගොබලුන්ට මොළේ කළඳක් දෙවන් දෙවියනේ
ලෝක පාලක දෙවියනේ!

අරාජක දේශයේ අනාගතයක් නැති මිනිසුන්ට​
නූපන් හෙටක් සිහිනයේ සිරගත​ කොට 
ඡන්ද පතළේ මිණිකැට අහුලන තක්කඩින්ට ​
ආත්මය පාවාදෙන මිනිසුනේ
බිඳරැදා දෑස්වල​ තිමිර පට
සොයාපල්ලා සත්‍යය​  
වැළඳ ගනිල්ලා යුක්තිය

No comments:

Post a Comment