Friday, 15 April 2016

දියණියට නොකී කවිය​


ආකාස ගංගාව පිටාරා ගලන සේ මසිත මත​
අනන්තා පරිමාණ සතුටකින් මගේ ළය පිරිතිරිණි
කුරුළු ගී තණු ගැයෙන
අසිරිමත් ඒ මොහොත ගෙනා හිමිදිරි උදේ
නුඹේ මොළකැටි මුහුණ දුටුව සඳ​.

අති මියුරු ගීතයක නින්නාදයක් ලෙසින්
පළමු වර නුඹේ හඬ මා සවණ වැකෙන සඳ​
කොහේදෝ ඉසව්වක මා හිතේ පැවැති හිඩැසක් වැසී
බැලූතෙක් මානයේ දිගාවුණ නීලගුවනත අරා
නුඹම පමණක් දිටිමි පහන් තරුවක්ව
ඒ සොඳුරු උදෑසන නුඹ මෙලොව දුටු දිනේ
නිසල දිය කඩිත්තක රඟන කුඩ මසෙකුසේ
සළිත විණි ඒ සතුට,
නිමෙසකින් අකුණු සැරයක් වැදී
මගේ ළය මඬ්ල කොනහනු ලැබිණි.

මුවවිටක් පුරාලු මතක සිතුවම් ඇඳී
මැකී යන බව දැනිණි මසිත තුළ​.
මා ටිකිරි බාල විය​, කුඩා දැරියකගෙ සමනළ සමය​
අප්‍රමාණවූ ආහ්ලාදයෙන් පිරි භද්‍ර යව්වනය​!
සුවහසක්  පැතුම්  මල් පිළිසිඳින
මිහිරිතම වසන්තය මෙන්ම​
මා දෙපා යදම්ලූ "විවාහය​" සිහිපත්ව
ලෝ දියත්තක් වගේ නෙත් කොනක
තෙරපුණා කඳුළු කැට මපෙම්ඹර දියණියනි.

"අද උපන් ගැහැණිය​මා පුංචි දියණිය​
ඉඳ්‍රඛීලයක්සේ නැඟිටින්න දෙපයින්
චිරාගත ගැහැණියක නොවී 
බිඳ​ දමා වැට කඩොළු 
පියාපත් සළාපන්
ඈත නිල් අහස් ගැබ අනන්තෙට​​, 
මා නුඹට වරම් දෙමි"​
මගේ සිත තැතනුවා වචන පෙළ ගසන්නට.

No comments:

Post a Comment