ඉඳගෙන නැතත් බංකුවමත ඉස්කෝලේ
විඳගෙන නැතත් පොත පත පහසක් දෑලේ
මා ගෙල බඳින්නට සිප්සත මුතු මාලේ
නුඹ වැළඳුවේ දුකමය නොවිඳින තාලේ
මං පෙත එළි කරන්නට බිඳ වැට කඩුලූ
අබිසෙස් කරන්නට යහගුණ මිණි කිරුළු
දිය කළ ගතේ වෙර, සම්-මස්, ඇට මිඳුළු
අම්මා පහන් සිළුවයි මගෙ ලොව එකලු
මගෙ පා සදන්නට විල්ලුද ඇතිරිල්ලේ
දිව රෑ වෙහෙස විඳ පියමැන දුහුවිල්ලේ
මා සිත සතපවා සෙනෙහස් ඕවිල්ලේ
නුඹ මිණි පහන් වැට සේ පෙර මඟ දැල්ලේ
කුරුසේ දරා ජීවන කල්වරි කන්ඳේ
දළ රළු කස පහර තනියෙන්මය වින්ඳේ
මා උදෙසාය මගෙ දුක් අඳුරය බින්ඳේ
නුඹ මගෙ මෙසායා රුදු කල්වරි කන්ඳේ
No comments:
Post a Comment