Monday, 4 April 2016

වළව්ව අරහං


රන් දෙණිවෙල නියර දිගේ හෙමින් හෙමින් අඩි කඩලා
පුංචිහාමූ දං ගහ යට ගිමන් හරිනවා
ගිමන් හරිනවාම නොවෙයි,
කයියේ ඇස් මඟ ඇරැලා
මගෙ ඇස් පටලවා ගන්න මාන බලනවා

උදේ හිටන් වකුටු කොන්ද දිග අරින්න විදියක් නෑ
අතේ තියෙන ගොයම් මිටිය බිම තියන්න හැටියක් නෑ
කයියෙ අයට හැබෑ ගන්ට​,            
පුංචි හාමු දංගහ යට ගිමන් අරිනවා
බිලී පිත්ත එහෙට මෙහෙට වීසිකරනවා

මහ සම්මත කුල සුජාත පරම්පරාවෙන් පැවැතෙන​
ඔය ඇත්තෝ වාගෙද අපි?
ඈත එපිට​ සංසාරේ කළ පව් දියකර හරින්න​
උදේ ඉඳන් රෑවෙනකං දාඩිය​ ටික විකුණ ගන්න​
උත්තමයන් ලඟ වැටිලා ඔහෙ කඹුරනවා

ඔත්පල වුණ අප්පච්චිගෙ කසාය ටික කිරා ගන්න​
හැන්ඳෑවට​ අතට ලැබෙන සොච්චම මිට මෙලෝ ගන්න​
කුලී කුරක්කමට ආවෙ කඩිකුලප්පු හැදිල නෙවෙයි
පිච්චිය නැති අපිත් එක්ක මොටද පයුරු පාසනං

අහස පොළොව ගැටලන්නට කරුණු කාරි නෑ ඔතරම්
පුංචි හාමු යහපත් වෙමු වළව් අහට දැන් 
නම්බුකාර ඔය ඇත්තෝ වගේ නෙවෙයි අපේ උන්ට​
තැවරුණ කුණු හෝදන්නට හේනෙ මාමා එන්නෙත්නෑ

හත් දොහකට කන්න නැතත්
සා ගින්නේ මිය ඇදෙතත්
දුප්පත්කම​ ලංසු තියල වළව්වෙ ඇත්තන් ගාවා
අදින් පස්සෙ කුලියටවත් වළව්ව අරහං

මල්ලිකා එම්. බණ්ඩාර​ - 18. 09. 2008

No comments:

Post a Comment