Sunday, 17 April 2016

අබිනික්මන


කලාගාරයට යන පටු පාර, රන්නින් වැහී ගිය​ ​
මල් යාය හරහා දෑත් පටලවාගෙන​
විසල් මැයි ගහක් යට ගල් ටැඹක වාඩිවී
අපිත් දොඩමලු වුණා එක්තරා කාලයක​
ගෙවී වසරින් වසර මැව් සිහින සැබෑකර​
ගිවිසගෙන​ සදහටම හිඳින්නට අතනෑර​
සුවහසක් ගැටලු මුසු සැබෑලෝකෙට පිවිස
ජීවිතය ඇරඹුවෙමු යුද පෙරමුණේ කොනක​

එදා සිට​ නුඹෙ රැහේ පිළිමලුන් හා එක්ව
නොයෙක නින්දා  බසින් අවලාද දුනු දියෙන් ​
විස පෙවූ සර පහර සිදුරු කළෙහිය මහද
හඬා ඉකිබිඳ වැළප වැලහින්නියක ලෙසින්
පොර බදා ඉවසුවෙමි ඉවසන්ට බැරිම තැන

මිතුරියක හමුවෙන්න නිවස්නට ගියවෙලේ
නුඹේ මිරිවැඩි සඟල ඇගේ සයන පාමුලේ
අමතකව දමා ඇවිදින් තිබී කලබලේ
නුඹෙ නමට තැපෑලෙන් යැවූ බව​
ඇගේ සැමියාම දුරකතනයෙන් 
මටත් සිහිපත් කළා පසුදාම​.

නුඹට සෙනෙහස පිදූ වැඩපොලේ තරුණියක
සිටින බව දැන දැනත් ගොළුව​ බිහිරිව අඳව
ඉවසුවෙමි දෙදරුවන් ළෙහිහොවා.
විවාහක බව නොදත් බොස්ගෙ දුව
නුඹට පෙම් බැන්ද බව දැනගතිමි
එද, හඬා වැළප මා ඉවසුවා මුනිව​තින්.
ප්‍රභූ බිරිඳක් නුඹට පිරිනැමූ පුද පඬුරු
ගෙදර ගෙනවිත් තබා මා අසල​
මහත්වූ ප්‍රහර්ශෙන් ඇයට පසසද්දි
තියුණු සැතකින් මගේ ළය සහිනු දැනුණි මට.​

කපුටු කැනහිලුන් බෝ ගැවසෙනා අඩවියක​
යනෙන මඟ තොට නිතොර රැඳුන මස් වැදි දනා
ඇටෙව් තරපසෙහි නොදැවැටී
උකුසු ඇස් මඟ හැර ආමි නුඹට පිදු පෙම නිසා
ගිවිස ගත් නිසා මියැදෙන තුරා රැඳෙන්නට​
අවලමෙකු හා සමඟ සයනයේ තනිනොවී
දිවි මගේ මෙතෙක් දුර ආමි

හන්තාන කඳු වළල්ලෙන් එහා
මහවැළිය ගලායන මානයේ
මේ පුංචි අසපුවේ කවුළු දොර අරින සඳ
අපිව මුනගැහුන ඒ සොඳුරු නිම්නය දකිමි.
දූ පුතුන් පියැඹූහ උන්ගෙ ලෝකය සොයා.
සිරගතවු චිරාගත ගැහැණු භූමිකාවෙන් 
නික්ම ආවෙමි මමද මගේ නිදහස​ සොයා

ගිනි කිකිළියන් අසල ගිනිකණා වැටුණ නුඹ​
කීවරක් “divorce එක දෙන්ට වෙර දැරුවාද​
ඉතින් සූදානම්ද ජීවිතේ සැඳෑකල දික්කසාදෙට අපේ?
​මරණයේ සීතලය දැනෙන විට නුඹෙ ගතට​,
නුඹේ කහවනුවලට​ වහවැටුන ගැහැණුන්ට​
කතාකර අහපන්න​
දැනුත් උන් ආදරේදැයි නුඹට.


No comments:

Post a Comment