වෙසක් හඳ මෝරද්දි
බලා පස් මහ බැලුම්
දස එකඩ මස් පිරී විලිරුදා දරනවා කැකුළු මල් පූදින්ට
මහවැළිය පුරුද්දට
වගේ ඔහෙ ගලනවා
ගන්නෝරු නැම්ම ළඟ
මොහොතකට නැවැතිලා
අන්තීම හුස්ම පොද
පිටකරන්නට වගේ
ගඟ අඟිරි ගානවා බර
සුසුම් හෙලනවා
කැන්දකඩු කන්ද
මුදුනින් එබී
රත් වණින් ළහිරු
රැස් ගලනවා
ලතාවට ඇදෙන නිල්
දියවරට
බොර දියත් නොවනා වැහි දියත්
නොවනා
අවපාට දියත්තක් මුසු
වෙලා තියෙනවා
මුවවිටක් පිරී ඇති
ගෝනි කට
බැඳ දැමු කලු පාට
වයර් පට
ලිහාගත නොහැකිවී,
හබල් නැති ඔරු පියලි
මෙන්
එක දිසානතියකට ඇදී යන
ගෝනිමලු පෙරහැරක් ගඟ
දිගේ ඇදෙනවා
ඉකිබිඳේයැයි බියෙන්
ගන්නෝරු වෙල් යාය
බැලූ අත බලාගෙන
ඉන්නවා
චක්රාකාර
ජ්‍යාමිතික රටාවක් සනිටුහන් කරමින්
භද්‍ර යෞවනේ අති ධාවනික ගමනකින්
අජීවී ගෝනිමලු එකා
පසු පස එකා
සළාවැටුමට මැදිව
හක්කලං කරනවා
උද්‍යාන භූමියේ ගං
දියට නැඹුරු වුණ
විසල් ශාකයක පිපි
රත් පැහැති මල් කිණිති,
දිය මතට පතිතවී
පාවුණා ගඟ දිගේ
ගෝනි කඩමලු වලට තනි
නොතනියට වගේ
මල්ලිකා එම් බණ්ඩාර
11. 04. 2016
No comments:
Post a Comment