Saturday, 9 April 2016

මතක පොත

මතක පොත(මියගිය යෙහෙළිය සිහිපත් කරනු වස්)

පෙතිකඩක අඳින ලද සොඳුරු සිතුවමක්සේ
මතකයේ නිම්වළලු දිගහැරෙයි අනන්තෙට​
ගහක කොළ මදිවෙන්ට දැනෙන  දුක කිව්වාට 
කඳුලකින් වෑවෙයිද ඉකිබිඳින මගේ සිත​​?

ළහිරු මල්පෙති විදා කඳු මතින් ගලාඑන,
සොඳුරු අරුණෝදයේ අතිමියුරු සුවඳ මැද
කිරිවැදෙන නිල් ගොයම සිසාරා  ඇදීයන​
කිරිකොක්කු දෙපලක්ව ලතාවට
මැදෑලේ නියරමත  හෙමිහෙමින්​  පිය මැන්න
ඒ නැවුම් යොවුන් විය අපිදෙන්න​

මගෙ මතක පුරාණය බොඳ වෙලා
නුඹ නොමැති කාන්සිය දෙනෙත් යට දියවෙලා
සීරුවට මැදපු සුදු රැළි ගවුම
සුළඟ හා  පොරබදන කරපටිය​
පොත් ගොන්න තුරුළු කර දෝතින්ම​
මහ වෙලේ කුඹුක යට මම තවම​ තනිවෙලා

මඳ පවන් වැද සැලෙන මුදු සරෙන් සිනාසෙන
රන් කරල් කළාලය දිගේ පියවර මැන්න​
සිප්සතර දැන ඉගෙන නව ලොවක් සොයාගෙන
සරසවියෙ දොර අගුළු විවර කර ගෙන සොඳින​
කාලයේ වැලිතලා,  ගල්තලා, මල්තලා
පසු කෙළෙමු හඬා යළි සිනාසී සුසුම්ලා

වැලි බතින් පටන් ගත් මිතුදහම නොතකාම​
ජීවිතේ මංපෙතේ දිගු දුරක් නොරැඳීම​,
නුඹ තනිව සමු අරන් නොකියාම නොදොඩාම​
මතක පොත මා අතය තනිව කියවනු කෝම​​?

2012

No comments:

Post a Comment