දෑත් හැඳි
රිදෙනතුරු පියාසර කරන්නට
ඉමක් නැති
අහස් ගැබ දිග පළල මනින්නට
සප්ත සාගරය
මැද පරතෙරක් දකින්නට
පුංචි වැහි
ළිහිණියේ නුඹ වෙහෙසුනේ කුමට?
ළමාවිය නිමා
කොට යොවුන් මල් තලාවේ
කොතෙක් නම්
සුවඳ මල් පිපුනාද සිත නිබඳ
අත දිගැර
නෙළාගත නොහෙන මානේ පිපී
බමර කැළ වසඟ
කළ සුවඳ පිරි සොඳුරු මල
මඟ තොටක්
නොදැන පිය මං නොකළ ඉසව්වක
බියද, සැක කුහුල මැද දෑත් පෙරවා හුනිමි
මා රැගෙන යන
පිණිස උරුම ඉරණම් ගමන
දෑස් යුග පියා
ගෙන ඉඩ හලෙමි කාලයට
ජීවිතේ
පොරපිටිය සිනා කඳුලැලි මුසුව
නන් දනන් දැක
හැඳින උගත්තෙමි ජීවිතය
විලිපිසර නොවී
මඟ මිරිගුවට නොරැවටී
සනිටුහන්
කරගතිමි ජීවිතය දිනන්නට
නිමක් නැති
උස් පවුරු බැමි බිඳැර යායුතුය
බියකරුය රළුය
පරළුය දෙපස මඟ දිගේ
ජීවිතය මා විසින් උපදවා ගත යුතුය
නොහැරුනෙමි
පසු පසට ගමන නිම වෙනතුරා
දුකද සැප සතුට හා දිනුම පැරැදුම සමඟ
හඹා ගියෙ
කාලයයි අසෙකුගේ වෙස් අරන්
නොහැකිවිණි
ගැට ගසා තබන්නට දුවන අසු
ගතද සිත වෙර
සිඳී වෙහෙස යැයි හැඟෙන විට
කුමට දොරගුලු
ලම්ද පාළු ඉස්තාලයේ
MB - 03.07. 2007
No comments:
Post a Comment