මේ කඳු මුදුන
පිස එන මඳ සුළඟ පවා
සුවපත් කළා මා
ගත සිත වෙහෙස නිවා
ඒ මුදු
සිහිල විඳ විඳ රෑ උදය හවා
දෙපයින් නැගී
සිටියෙමි වෙර දිරිය දෙවා
ඇළබඩ කුඹුක්
සෙවනේ වැලිබත් ඉව්ව
තනි මංසලේ
සුවහස් සිතුවම් මැව්ව
කිරි දැරියකට
සමනළ අත් හැඳි දෙව්ව
නුඹ ගීතයක්
මෙනි හද ලෙන් ගැබ ලිව්ව
හිමිදිරි
පාන්දර ළා හිරු පියර උලා
නුඹ හිනහුනා මීදුම් පට සළුව පලා
සත් සමුදුරෙන්
දුර ඈතට එතෙර වෙලා
පියමං කරන්නට
මංපෙත් විවර කළා
මගෙ හිත තැළෙන
විට නුඹෙ නෙත හැඬුවාය
වත හස රැළි
අසල ජයපැන් වැඩුවාය
සැනසිලි වදන්
මා සවණට දෙඩුවාය
මා යන මඟ
රැඳුන රුපු දළ කැඩුවාය
සිප්සත දෙවා
කුස ගිනි නිවුමට මාගේ
මුතු දහ දියයි
විකුණුවෙ අපෙ අම්මාගේ
නිසලව දරාගත්
දුක සැප එක වාගේ
හඳුරුක් කන්ද
අපෙ අම්මත් නුඹ වාගේ
මල්ලිකා එම්. බණ්ඩාර - 21. 05. 2012
No comments:
Post a Comment