මැදට කන
පියුම් කොනට සමදරා
රටා දමා පන්
පැදුරු වියනවා
පුංචි සන්දියේ
මියුරු මතකයන්
පැදුරක්වී මා හිතේ එලෙනවා
එලන නගන පත්
අතර ලතාවට
නිය ගැටෙනා හඬ
සවණ රැඳෙනවා
ඒ හඬ අතරින්
කුප්පි ලාම්පුවෙ
සිළ ලෙළදෙන
හැටි සිතේ මැවෙනවා
දින සති අවුරුදු
වලට හැරීලා
දුරු රටකට නුඹ
තනිකොට ආදා
නුඹේ විලාපය සවණ තෙරපුණා
කුණාටුවක් සේ දවසක්
පාසා
නැවතුන තැන
සිට පන් පැදුරේ මඟ
නව වියමනකට
පිරුවද අම්මේ
ගිලිහුණ පත්
යළි එකතු කරන්නට
නුඹෙ දෑතට
සවි ලැබුණද අම්මේ
දරු මුණුබුරු
කැළ නැවත දකින්නට
නුඹෙ සිත
ඉකිලන අයුරු දැනෙනවා
ඈත කොදෙව්වක
හීන හතක් මැද
මාන කොකෙක්වී
හිත ඉගිලෙනවා
යළි එනතුරු
නුඹෙ දෙපා සිඹින්නට
මගේ
දෙනෙත් දස
පෙරුම් පුරනවා
සිහින දකිනවා
ඇඟිලි ගණිනවා
නුඹේ මෙන්ම මගෙ සිතත් නිදැල්ලේ
ගව් දස දහසක්
දුර පියඹනවා
කූඩු වෙන්ට නුඹෙ පුංචි කැදැල්ලේ
සීතල මැදියම රෑ නිදි වරනා
නුඹෙ වැළපිළි
මා සවණ රැඳෙනවා
දෑස තෙමීයත
නුඹෙ රුව ගැවසෙත
නුඹ තොල්
මතුරන අයුරු ඇහෙනවා
“නවම් මහේ හත්
වැත්ත කපා ගෙන
වැස්ස වළාහක
දෙයියො වඩිනවා
පුංචි එවුන්
වැහි කෝඩෙට අහුවෙයි
අව් වැල්ලක් ඒ
රටට පුරාවා!”
“මාල හතක් බැඳ
දීගෙක යන්නට
පුංචි
මිණිබිරී සැරැසෙනවාදෝ
මේල පළඳනා
නැති මුත් දෙන්නට
බුලත් අතක් මට
දී යනවාදෝ”
නුඹේ සිහින
සිතුවමට නැගෙනවා
“කටට රහට ලුණු
මිරිස හදන්නට
අත් ගුණයක්
ඇති කෙනෙක් ගෙදර නෑ.
පුංචි දුවේ
ගෙට ගොඩවී පලයන්”
නිදි පැදුරේ
හිඳ නුඹ මුමුණනවා.
අකුරු පෙළක්
පත් ඉරුවක ලියලා
එවා
ගන්න විදියක්
නැති හින්දා
හඳුරුක්කන්දෙන්
ඉර නැඟ බැස යන
මොහොතක් ගානේ
නුඹ ඉකි බින්දා
No comments:
Post a Comment