කුණු බිඳක් නොරැඳෙන්න එකම එක
සුදු ගවුම
සෝද සෝදා ඇන්ඳ කිරි සකේ පැහැ වෙන්ට
පාවහන් සිප නොගත් දෙපා යුග නොරිදෙන්ට
මුතු පබළු පිණි වතල ළතණ පත් මත ඇවිද
උදෑසන මහ නියර පුරාවට ඇතිරිච්ච
මිඳෙල් මල් පාවාඩ මැඬ නොගොස්
නිවන් මඟ සොයා යන උවැසියක
විලස්නෙන්
ගම ඉහත්තේ තිබුණ පාසලට පිය මැන්න
දෙවොල් දොර යාතිකාවක නියැලි දේවදාසියකසේ
අල්තාර පාමුලේ ගීතිකා මුමුණනා බැතිමතියකසේ
දණ නමා නැඹුරු කරගත් හිසින්,
විවර කරගත් නෙතින්
ධාරණය කර ගතිමි සිප් සතර
මතු රැකෙන එකම මඟයයි සිතා
සිහිල් දිය ඌළකින් ඉබේ රූරා වැටෙන
දියත්තට විවර කළ නැවුම් කොතලයක්වී
මුවවිටක් පුරා ගත්තෙමි දැනුම,
අවබොධයෙන්
ලදිමි හික්මීම
දැන හැඳින දරා ගත්තෙමි හදින් මිනිස්කම
කම්මැලේ කිණීරෙන් තැළී පොඩිවී,
ගිනියම්වු යවටක් ලෙසින්
ඉඩහලෙමි තියුණු අවියක්ව තැනෙන්නට ශිල්පයෙන්
කිරිඅප්පු විදානෙගෙ සකපෝරුවේ රැඳුන
මැටි පිඩක් මෙන් පිරියම්ව
ඉදිවුණෙමි ගුණ ණැනින්
නේක ලියකම් වලින් කැටයම්වූ බඳුනක්ව
වියතුන් සබා මැද එදිරිව හිඳින්නට
නින්දා අපහාස කටු කොහොල් මඟ දෙපස
වැටි වැටී යළි නැඟිට මිදී මළපුඩු කෙරෙන්
ජීවිතේ රුදුරු මං
පෙත දිගේ ඇවිදගෙන
විඩාපත් ආත්මය දරාගෙන
මොහොතකට නැවතී
සරතැස
දියකර හළෙමි
අතීතාවලෝකනයෙන්
ගිමන්හල පිල්කඩේ එලා මතකයෙ පැදුර
අවසාන මළහිරු පොදත් මැකිලා ගිහින්
අව පස සඳත් දියවී ගිහින්
තරු පොකුරු සිනාසෙන අහස යට
හිඳිමි අපමණ තෘප්තියෙන්
No comments:
Post a Comment