Monday, 4 April 2016

යුක්තිය උදෙසා


සිහින ලෝකේ පාවුණා අපි - මෙතෙක් කල් නෙත පියාගෙන හිඳ
හිම කුමාරියො වුණා ඇති නෙව​ - කොතෙක්නම් තව මුලා වෙන්නද
​නැගී සිටිමුව දිරිව එදිරිව - කාන්තා හිංසනය අබියස​  
දැන් ඉතින් කාලය ඇවිල්ලා - සහෝදරියෙණි නැඟිටපල්ලා

ගැහැණු බව ගැහැණියක් වීමෙන් - කුවේණිය පැරදිලා වන වැද​
යොවුන් දොර එලිපත්ත මතදිම - නැවුම් බව ගැබ් බරව ඉකිලත​
කිරි වරා නැති සිඟිති දූවරු - තිරිසනුන් අත කෙළෙසිලා යත​
පැසුනු වියපත් වියේදී වුව​ - අපට රැකවරණයක් තිර වෙද​ ?

නීතියේ කන්‍යාව අන්ධය - තුලාවේ කහවනු රැඳෙන සඳ​
ඇවැසි තැන නැති ඇගේ කඩුවෙන්- ගෙදර හිඳ අපි කොස් කොටන්නද​?
මවද, සොහොයුරියද, දියණියද - රකිනුවස් එක අරමුණක හිද​
මොර ගසල්ලා බිඳ​'ර මුනිවත - සහෝදරියෙනි පෙරමුණට වැද​

සදාචාරයෙ නීච බියගුලු කඩතුරාවෙන් වසා ගත සිත​
වහළියකසේ කැඹුරුවා මිස, සිප් සතර හිණි පෙතක්වී නැත
පිළුණුවූ සිරිතට චිරන්තන පිටු නොපා ගැලවුමක් නම් නැත
කුමට කෙළි බඩු කුලඟනක්වී ගැහැණූකම මිහිදන්ව ඇති විට​ ​?

අපේ අයිතිය අපට යුක්තිය මෙන්ම සාධාරණය ඉල්ලා
අපේ අබිමානය දිනන්නට​ - හිතින් අරමුණු කර ගනිල්ලා
​සිඳ දමා වැට කටු කොහොල් දිරි දෙපා යුග මත නැඟිට​පල්ලා
බිඳ දමා විය ගසෙහි වරපට​ - උරෙන් උරදී පෙළ ගැසෙල්ලා

අනාගත ගැහැණිය මුදාලන මෙහෙයුමේ මෙහෙවරට උරදී
කාන්තා නිදහසේ සිහිනය සැබෑ කරගනු පිණිස දිරිදී
ඉඳින්; "සිසි වන උවන ඉඟ සුඟ නොරැවැටී රාගික උවම් ළඟ​
බර දරන පුළුලුකුළ රිය සකයුරු තිසර තන " ඇයි සුනංගුව​?
තිරව නැගිටිමු ​ අභිමනින් - බිඳිර දෙපයේ ලූ විලංගුව !

No comments:

Post a Comment