Monday, 11 April 2016

බොල්වූ ​සිහිනයක්


රාමනාදන් පියස අසල තුගු තුරුහිසේ
මල් පිපුණ කල මියුරු සුවඳ දෙන සපු ගසේ
කැකුළු පීරා සෙමෙන් රොන් උරන නිදහසේ
බමර කැළ නගන බිගු රාව ඉඳ හිට ඇසේ
                           
අකුරු පෙළ බොඳ වෙලා නිදි වැරූ යුග නෙතේ
ඉඩ නොදෙයි පොත පුරා දුවන්නට දස අතේ 
සැඳෑ සීතල පවන​ දැවටෙනා කඳු පෙතේ
සමරු පළකයක් වී නුඹ හිඳී මගෙ හිතේ

සප්ත කුළු පව්ව වැනි හිල්ඩාව පසු කරන්
සඳ සිරිය බලා බොරු කාරණාවක් අරන්
අදත් වෙනදා වගේ එනවාද රත්තරන්
මම හිඳිමි කයිලාස මස්තකේ බැඳ තොරන්
                            
තල් වැටිය අසල මඳ අඳුර එතෙනා වෙලේ
නා නා කැකුළු අතවනයි දැවටෙන්න දැළේ
ඔබෙ සුසුම් කුණාටුව මොර ගැසූ පොත් ගුලේ
දහැන් ගත වී ගියෙද අඩ අඳුරු රඟ හලේ

දින ගණන් පහු වෙලා වසර ගණනක් ගෙවී 
නුහුරු නුපුරුදු ඇසුර සොඳුරු  මිහිරක් කැවී
දෙනෙත් දොඩමලු වුණත් හදවතින් ගොලු වෙවී
තවත් එක දිනක් ඇත සමුගන්න   ඉතුරුවී

කඳු වළල්ලේ එතුන වළාසළුවෙන් සේද
වියා නිම කළද මහ මැදුරු දොර ප්‍රාසාද
කඳුළු දෝනාව යට නිල්මිණක් සේ රැඳී   
ඔබෙන් තොර හෙට දවස තනිව පෙර මඟ හිඳී 



 මල්ලිකා එම් බණ්ඩාර​

No comments:

Post a Comment