පුළුන් පොදක්
තරම්වත් කුඩා
වළා රොදකින් තොර හිස් අහස් තලය
අනන්තය දක්වා
විහිද ඇත.
ගිනිගත් නගරය යවටක් සේ උනුසුම් ය.
එද, “විශ්වයම සුන්දරයි” කීවාය ඇය.
ඔහු ඈත අහස්
ඉම දෙස බලා හිඳ
යළි හැරී
සෙමෙන් කීවේය ඇයට,
"නෑ විශ්වයටත්
වඩා සුන්දරයි ඔබ"
ඇගේ නිල්වන් දෑස තුළ උල්පත් වන
ලක්‍ෂ සංඛ්‍යාත මනෝභාවයන්
වෑ
බැම්මේ වැදී
බිඳෙන ජල තරංග වලටත්
වඩා වේගයෙන්
ඇතිවී නැතිවෙන
හැටි ඔහු බලා සිටියේය.
හිස් අහසටද,
සජීවී මනුෂ්‍යයෙකුටදයි
නිනව්වක් නැතිව
මිමුණුවේය
ඔහු.
"මං
ආදරෙයි...ඔය ඇස් දෙකට...ඔය හිනාවට...
කවදාවත් නොහිඳෙන උල්පතක් මෙන් ගලන ඔය හිනාවට"
කියූ ඔහු ,
හුන් තැනින්
නැඟිට
ඇර තිබුණ
ගේට්ටුව ළඟටත්
ඉන් අනතුරුව
හුදකලා මහ මඟටත්
පිවිස යන්නට
ගියේය.
දවසක්ද, සතියක්ද, අවුරුද්දක්ද
නිනව්වක් නැතිව,
දශක හයකට පසුත්
මැඳුර අභියස ඇය බලා සිටියාය
ඒ විශ්ව සුන්දරත්වය ඔහු සමඟ විඳ ගන්නට.
ඒ විශ්ව සුන්දරත්වය ඔහු සමඟ විඳ ගන්නට.
No comments:
Post a Comment